Saturday, June 15, 2013

නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන දිවි නසාගන්න පුළුවන්ලු

On-line-Anura-horesasනියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන දිවි නසාගන්න පුළුවන්ලු
- පැමිණිල්ලේ නීතිඥයා අනතුරු අඟවයි
hee2මට තේරුණා මේ වැඩේ උඹලා කරනවා කියලා. හැබැයි උඹලට බෑ මාව හැමදාම ඇතුළේ තියාගෙන ඉන්න. මම එළියට ආපු දවසට බලාගනින්ලා උඹලට කරන දේ. ශානි මම මිනීමරුවෙක්
  රාජ්‍ය (හිටපු) නිලධාරියෙක් කිසිම දවසක සිය ක්‍ෂේත්‍රයේ පහළ නිලධාරීන්ට මේ ආකාරයට මරණ තර්ජනයක් කර ඇතැයි මා අසා නැත. ඔබද එසේ අසා නැතුවාට සැකයක් නැතමේ ආකාරයට මරණ තර්ජන කර ඇතැයි පැවසෙන්නේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන බව රහස් ‍පොලිසියේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසයි.

වාස් ගුණවර්ධන ඉකුත් මැයි 09 වැනිදා දක්වා රාජකාරි නිල ඇඳුම් ඇඳගත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකි. ඔහුට එරෙහිව දැඩි චෝදනාවක් දැන් එල්ල වී තිබේ. ඒ නිරායුධ මිනිසෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමයි.
මෙම චෝදනාව අනුව රහස් ‍පොලිසිය ඉකුත් මාසයේ අවසාන සතියේ පටන් ආරම්භ කළ 
පරීක්ෂණවලදී සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් අතරේ පෑලියගොඩ ‍පොලිසියට අනුයුක්තව සේවය කළ උප ‍පොලිස් පරීක්ෂකවරයෙකු සහ ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ද වූහ. ඔවුන් තිදෙනා වාස් ගුණවර්ධන යටතේ සේවය කළ අය බව කියති. 
මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අදාළ පුද්ගලයන්ගේ ඝාතන සිදුවූයේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධනගේ අවශ්‍යතාව සහ අනුදැනුම මත බව අනාවරණය වී යැයි රහස් ‍පොලිසිය පවසයි.
ඒ අනුව ‍පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේදී ඔහු හිඳ සිටි පුටුව පසෙකට වේගයෙන් තල්ලු කර නැගිට උස් හ¾ඩින් මට තේරුණා මේ වැඩේ උඹලා කරනවා කියලා. හැබැයි උඹලට බෑ මාව හැමදාම ඇතු‍ලේ තියාගෙන ඉන්න. මම එළියට ආපු දවසට බලාගනිල්ලා උඹලට කරන දේ. මම මිනීමරුවෙක්.' යනුවෙන් තර්ජනය කළ බව රහස් ‍පොලිසියේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසා ඇත. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සාබ්දීන් මහතා හමුවට 15 වැනිදා දහවල් මෙම අපරාධය පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමිනි.
හිටපු උසස් රාජ්‍ය නිලධාරියෙකු වූ වාස් ගුණවර්ධන 'මම මිනීමරුවෙක්' කියා සැබැවින්ම පැවසුවා නම් එක්කෝ ඔහුට පිස්සු යැයි සමහරු කියන්නට බැරි නැත. නැත්නම් ඇත්තටම ඔහු මිනීමරා හෝ මිනීමරන්නට අනුබල දී ඇතැයි යන විශ්වාසයක් ඇති වෙයි. එම විශ්වාසය අද සමාජය තුළ තහවුරු වන්නට පටන් ගෙන ඇත. ඒ වාස්ගේ නියෝග මත මරා දැමුවා යැයි කියන පුද්ගලයාගේ සිද්ධියත් සමගයි.
එම සිද්ධිය වර්තමාන සමාජය තුළ මේ තරම් දැඩි කතාබහට ලක්වන්නට ප්‍රධාන හේතුව වූයේද වාස් ගුණවර්ධනමයි. ඒ ඔහු නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයක් හෙබවූ බැවින්ය. රටේ ‍පොලිසියේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් සියලු දෙනා අපරාධකරුවන් නොවන නමුත් ඉහළම නිලධාරියෙක් මෙහෙම කරයි නම් ‍පොලිසියේ කොස්තාපල්වරුන්ගේ පටන් ඉහළට දහස් ගණන් නිලධාරීන් අතුරින් සමහරුන් මොනතරම් සහගහන අපරාධ රටේ අහිංසක නිරායුධ මිනිසුන්ට සිදු කරනවා ඇද්දැයි යන සැකය සමාජය තුළ දෝංකාර නැංවීම පුදුමයට කාරණාවක් නොවේ.
මේ වනවිට වාස් ගුණවර්ධනගේ නිල ඇඳුම් ‍පොලිසිය විසින් ගලවා ගෙන තිබේ. ඔහු දැන් හැඳ සිටින්නේ 'ලෙඩ' ඇඳුමකි. ලෙඩ ඇඳුම පිටින් හෙතෙම කොළඹ ජාතික රෝහ‍ලේ වාට්ටුවක ප්‍රතිකාර ලබයි. වාස් ගුණවර්ධන අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ හෘද රෝගයෙන් පීඩා විඳින බව ‍පොලිස් රෝහ‍ලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් සහතික කිරීම හේතුවෙන් 13දා දහවල් හෙතෙම ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබිය.
එම තත්ත්වය ඇතුළු ඝාතනයේ තවත් තොරතුරු රැසක් සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාබ්දීන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහල  බලා ගියේය. ඒ වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයට පත්කිරීමට පෙර ඔහුගේ සැබෑ තත්ත්වය නිරීක්ෂණය කිරීම පිණිසයි.
hee3
වාස්ට එරෙහි චෝදනා රැගෙන ශානි උසාවියේ

සැකකරු පරීක්ෂා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ දැඩි ‍පොලිස් ආරක්ෂාව යටතේ වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝග කරන බවයි. ඒ අනුව වාස් ගුණවර්ධනට දිගටම ප්‍රතිකාර ලබන්නට අවසර හිමි විය.
එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා මහේස්ත්‍රාත්වරයා හමුවෙහි කියා සිටියේ වාස් ගුණවර්ධන මිනීමරුවන් සහ වෙනත් අපරාධකරුවන් රැසක් අල්ලා ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබෙන බැවින් වාස්ව රිමාන්ඩ් නොකරන ලෙසයි. ඒ ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවිනි.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මීට පෙර වාස් ගුණවර්ධන දෙවරක් සියදිවි නසාගන්නට උත්සාහ කළ බැවින් ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දෙන ලෙසයි. නැත්නම් ඉදිරි විමර්ශනවලට එය බාධාවක් විය හැකි බවයි.
කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් නමැත්තා මැයි මස 22 වැනිදා පැහැර ගෙන දොම්පේ ප්‍රදේශයට ගෙන ගොස් නිරුවත් කර හිසට වෙඩි තබා ඝාතනය කර තිබිණ. මෙම අපරාධය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි තවමත් විභාග වෙමින් තිබේ.
නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට මෙම ව්‍යාපාරිකයා මරා දමන්නට අවශ්‍ය වූයේ ඇයි යන කාරණාවද එළියට ඇදෙමින් තිබෙන බව රහස් ‍පොලිසිය කියයි.
රහස් ‍පොලිසිය පවසන අන්දමට ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා, තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි හතරක මුදලක් ණයට ලබා ගෙන ඇත. නමුත් එය ගෙවීම පැහැර හරිමින් කට්ටි පනින්නට වීම නිසා ඔහු ඝාතනය කරන්නට සල්ලි ණයට දුන් පුද්ගලයා තීරණය කර තිබේ. එම ඝාතනය ගැන මොහු සාකච්ඡා කර ඇත්තේ නියෝජය ‍පොලිස්පති වාස් ගුණවර්ධනගේ මිතුරකු යැයි කියන ක්‍රිෂාන්ත නැමැති අයෙකු සමගය. ක්‍රිෂාන්ත වාස් ගුණවර්ධන සමග සාකච්ඡා කර රුපියල් කෝටියක මුදලක් වාස් ගුණවර්ධනට ලබා දෙන ‍පොරොන්දුව මත මෙම ඝාතනය සිදුකරන ලදැයි දැනට අනාවරණය වී තිබෙන බව රහස් ‍පොලිසිය පවසයි. ඝාතනයෙන් පසු රුපියල් කෝටිය වාස් ගුණවර්ධනට ලබාදී තිබෙන බවත් රහස් ‍පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
වාස් ගුණවර්ධන සම්බන්ධ ආන්දෝලනාත්මක මෙම සිදුවීම අද ඇසෙන  විට මීට ස්වල්ප කාලයකට පෙර වාස් ගුණවර්ධන ගැන එක දිගට ප්‍රශංසා මුඛයෙන් රටේ ජනතාව කතා කළ හැටි සහ ජනමාධ්‍යවල ඔහු සම්බන්ධව කතා පළවූ අන්දම කිසිසේත්ම අමතක කරන්නට බැරිය. සමාජය මොනතරම් විස්මිත දැයි සිතෙන්නේ එවිටය.
වාස් ගුණවර්ධන ගැන ආසන්නම සිද්ධීය වාර්තා වූයේ ‍පොලිස් උත්සවයකදීය. එතැන ප්‍රධානම අමුත්තා වූ ඔහු ප්‍රසිද්ධියේ ‍පොලිස් නිලධාරීන්ට පැවසුවේ මින්පසු දේශපාලනඥයන්ගෙන් ගුටි කා ‍පොලිසියට අඩියක් නොතබන ලෙසයි.
ඒ වනවිට රටේ විවිධ පැතිවලින් වාර්තා වූයේ තුත්තිරි ගාණට සිටින දේශපාලනඥයන් සමහරු ‍පොලිස් නිලධාරීන්ට පහර දී පන්නා දමන සිද්ධිය. වාස් ගුණවර්ධන පැවසුවේ වීදි සංචාරය කරන නිලධාරීන්ට බැටන් ‍පොලු වැඩක් නැති බවත්, ගිනි අවි සහ පතරොම් ලබාදීමට තමන් පියවර ගන්නා බවත්ය. දේශපාලකයින්ගෙන් ගුටි කා පතරොම් සහ තුවක්කුව රැගෙන ‍පොලිසියට අඩිය නොතබන ලෙසට වාස් එදින නියෝග කළේය.
දේශපාලකයන්ට 'තඩි බාන්නේ' කොහොමදැයි කල්පනා කරමින් සිටින ජනමාධ්‍යයට වාස් ගුණවර්ධන ඒ මොහොතේ කේසර සිංහයෙකු විය. ඔහුගේ කතාවට ජනමාධ්‍ය තුළ කැපී පෙනෙන ඉඩකඩක් වෙන් කෙරිණ. 
ඊට පෙර වාස් ගුණවර්ධන ගැන සමාජය කතා කරන්නට වූයේ කහවත්ත කොටකෙතන මූලාශ්‍ර කර ගනිමින්ය. 
පසුගිය වසර එකහමාරක පමණ කාලයක් කහවත්ත කොටකෙතන ප්‍රදේශවල මරා දමන ලද කාන්තාවන්ගේ සංඛ්‍යාව පහළොවක් පමණ විය. කපා, කොටා, මරා දමන්නට පෙර සාහසිකයන් විසින් එම කාන්තාවන් දූෂණයට ලක් කර තිබිණි. අනතුරුව මළ සිරුරු එම නිවෙස් තුළට දමා ගිනිබත් කර ඇත්තේ සාක්ෂි කිසිවක් ඉතිරි නොවන ආකාරයටය. 
මෙම ඝාතන රැල්ල මඩින්න ‍පොලීසිය යෙදූ උපක්‍රම කිසිවක් සාර්ථක වූයේ නැත. රහස් ‍පොලිස්, බුද්ධි අංශ නිලධාරීන්, සිවිල් ආරක්ෂක භටයින් ‍පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකා සෙබළුන් ආදී ආරක්ෂක       සේවාවන්ට අයත් හයසියයකට ආසන්න පිරිසක් කහවත්තට හා කොටකෙතනට රැකවල් දුන්හ. කොටකෙතන ගමේ වැසියන්ට නිවසේ දොරක් ජනේලයක් විවර කළත් දකින්නට ලැබුණේ ආරක්ෂක භටයෙකුගේ මුහුණකි. එහෙත් කාන්තා ඝාතන කෙළවරක් නොවීය. 
මෙම ඝාතන රැල්ල අවසන් කිරීම සඳහා පත්වීම් ලැබ රත්නපුරයට පැමිණියේ වාස් ගුණවර්ධනයි. එවිට ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයෙකි. 
මෙම ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් කීප දෙනකු එම අවස්ථාවේ පසු වූයේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන්නන් ඝාතනවලට වගකිවයුත්තන් නොවන බව වාස් ගුණවර්ධන ආරම්භ කළ විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි ඒ දිනවල ජනමාධ්‍ය වාර්තා කළේය. අපරාධකරුවන් නිදැල්‍ලේ පසුවන බව ඉන් ගම්‍ය විය. ඊළඟ නඩු වාරවලදී රිමාන්ඩ්භාරයේ සිටි සැකකරුවන්ට උසාවිය මගින් අප නියම කෙරිණ.
ඇප මත නිදහස්වී පැමිණි සැකකරුවන්ට වැඩි දිනක් නිදහසේ ගතකරන්නට වාසනාවක් නොලැබිණ. කවුරුන්දෝ ඔවුන් පැහැර ගත්හ. පසුව බිහිසුණු ලෙස ඝාතනය කර තිබූ එම සිරුරු ඥාතීන්ට හමු විය. පැහැරගනු ලැබූ තවත් සමහරුන් අදටත් අතුරුදන්ය.
කොටකෙතන භීෂණය නිමා වූයේ එලෙසින්ය. පසුගිය කාලයේ එකදු ඝාතනයක් හෝ කොටකෙතනින් වාර්තා නොවූයේ උසාවියෙන් එළියට පැමිණි පුද්ගලයන්ගේ  අභිරහස් ඝාතන හේතුවෙනි. එම ඝාතන හේතුවෙන් සැබෑ අපරාධකරුවන් ත්‍රස්ත වී පලා ගියහ. නැත්නම් ඝාතනයට ලක්වූයේ සැබෑ අපරාධකරුවන්මය.
රත්නපුරයට වාස් ගුණවර්ධන පත්කර එවන ලද්දේ ඔහු ගාල්ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයා ලෙස සේවයේ යෙදී සිටියදීය.
ගාල්ල නගරය බිහිසුණු අපරාධ රැල්ලකින් හෙල්ලී ගොස් තිබූ වකවානුවේ වාස් ගුණවර්ධන ගාල්ලට පත්කර එවනු ලැබිය. ගාල්ල, ඩික්සන් පාරේදී මහ දවල් කුමාර සෙනෙවිරත්න නමැත්තෙකු ඝාතනය කළේ සිය ගණන් බලා සිටියදී ඔහුගේ අත් පා වරින්වර වෙන් කරමින් ම්‍ලේච්ඡ ආකාරයෙනි. 
ඔහුගේ සොහොයුරා ගාල්ල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුෂ්‍යන්ත සෙනෙවිරත්න නැමැති අයටද වෙඩි තබා මරා දැමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරාද කපා කොටා මරා දමන ලදී.
මෙම සහාසික අපරාධ සම්බන්ධයෙන් ‍පොලිස් පරීක්ෂණ ආරම්භ වුවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන භීෂණයට තිත තබන්නට ‍පොලිසියට නොහැකි විය. එම අවස්ථාවේ ගාල්ලේ භීෂණය මඩින්නට පත්කර එවනු ලබන්නේ එහි නව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ලෙස වාස් ගුණවර්ධනය.
සතියකට හමාරකට පමණ පසු ගාල්ල, ‍පෝද්දල උඳු පඳුරු අතර තිබි තරුණයන්ගේ මළ සිරුරු පහක් හමුවිය. දෑත් ගැටගසා හිසට වෙඩි තබා තරුණයන් පස් දෙනා ඝාතනය කර තිබිණ.
මෙසේ මරා දමා ඇත්තේ ඩික්සන් පාරේදී ඝාතනය කළ කුමාර සෙනෙවිරත්නගේ ඝාතකයන් යැයි ‍පොලිසිය ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරවන්නට බොහෝ උත්සාහ ගත්තේය. නමුත් එම තරුණයන් කුමාර සෙනෙවිරත්න ඝාතනයේ වගකිවයුත්තන් නොවන බව ඥාතීහු ‍පොළවේ හැපෙමින් කීහ.
මෙම  තරුණයින්ගේ ඝාතනය සමග අදටත් ගාල්ල නිහඬය. භීෂණයක් දැන් නැත. කුමාර සෙනෙවිරත්න ඝාතනයේ සැබෑ මිනීමරුවන් යයි සැකකෙරුණු අය ඔවුන්ට එරෙහිව තිබූ වරෙන්තු සම්බන්ධයෙන් වහාම උසාවියට භාර වී රිමාන්ඩ් බන්ධනාගාරගත වූයේ ජීවිතය රැකගන්නටය.
මේවා සිදුවූයේ කෙසේදැයි දන්නෝ දනිති. වාස් ගුණවර්ධන වෙනුවෙන් එදා අත්‍පොළසන් දුන් උදවියටම අද ඔහු ගැන මෙලෙස චෝදනා එල්ල කරන්නට සිදුවීම පිළිබඳ ඇත්තේ මෙබඳු පිළිතුරකි.
ඒ, රටේ නීතිය වල්වැදී අවනීතිය මතුවී තිබෙන බවයි. එය ගාල්ලට, කොටකෙතනට පමණක් නොව වාස් ගුණවර්ධනටද අදාළය. 

1 comment:

  1. i have doubt, is vas gunawardena is relations of some major parties, no idea how he became the positions at once,

    ReplyDelete